Background

රූ නද


රිද්මය හමුවේ මැවෙන්න වු චලනයන් ගෙන එන්නේ නෙතට සුවදායි වු හැඟීම් සමුදායකි. ප්‍රකාශන මාධ්‍යක් ලෙසින් සිය පළමු පියවර තැබු නර්තනය මේ වන විට  නේක විද චලනයන් ඔස්සේ සම්ප්‍රදායන් බිහිකර අවසානය. ගෝලීයකරණයෙන් සම්පිණ්ඩනය වු ලෝක වපසරිය මත නර්තනය විශ්වීය මාධ්‍යයක් ලෙස නව්‍යතාවයෙන් සුසැදී මනුෂ්‍යයෙකු බිහි කිරීමෙහි උර දෙන්නා වු ප්‍රභවයකි. ශ්‍රී ලාංකීය නර්තන ව්‍යාප්තිය තුළ උඩරට පහතරට හා සබරගමු ආදී වු මහා සම්ප්‍රදායන් ත්‍රිත්වයට අමතරව ඉන්දීය නර්තන සම්ප්‍රදායන් වන භරත නාට්‍යම් හා කථක් නර්තන සම්ප්‍රදායන් ද්විත්වයද මුලසුන් දරමින් කරළිය මත රංග පූර්ණ, භාව පුර්ණ හා නෙත් සිත් පැහර ගන්නා වු අපුර්ව වින්‍යාසයක් ලෙස ලෝක ව්‍යාප්තිය කරා විසරිත කරන්නට ලැබීම ලාංකිකයෙකු ලෙස අභිමානයට තුඩු දෙන කාරණයකි.

මානවයෙකු ලෙස බිහි වන සිය ප්‍රථම අත්දැකීම වන කලලීය අවස්ථාවේ සිට ඇරඹි රිද්මයේ සිට නිර්මිත සංගීත ඛණ්ඩය දක්වා චලනයන් ඔස්සේ සුසැදි නර්තනය විශ්ව විද්‍යාලීය මානවයෙකුට මානවිකාවකට නුහුරු නුපුරුදු භාවිතාවක් නොවේ. එකී යෞවනයේ භාවිතයක සම්ප්‍රදායේ සීමා බන්ධන වලට සිර නොවී නව්‍යතාවයෙන් යුත් සුභාවිත අරුතක් එක් කරමින් කලාකාමී සංවේදී නිර්මාණශීලී උගත් තරුණ පරපුරක් ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් දැයට දායාද කරන්නට වෙහෙසෙන කලා පර්ෂදය හා සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් දියත් කල අන්තඃ විශ්ව විද්‍යාලීය නර්තන තරඟවලියේ අවසන් මහා තරඟය, “රූ නද”  30 වෙනි දින (හෙට ) සුමංගල කියවීම් ශාලාවේදී දී පැවැත්වේ. 

ස්වකීය නිර්මාණ ප්‍රතිභාව එළිදක්වමින් උඩරට පහතරට සබරගමු භරත හා කථක් අංශ ඔස්සේ තරඟකරුවන් 15දෙනෙකු උරෙන් උර ගැටෙන නර්තන උළෙලෙහි කුසලතාවයන් සපිරි දක්ෂයන් අතුරින් සුදක්ෂයන් තෝරා දෙන්නට කලාශූරී ආචාර්ය පියසාර ශිල්පාධිපති මහතා, කලාශූරී පද්මිණී මානෙල් දහනායක ආරියදාස මහත්මිය හා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනක කෝට්ටේගොඩ මහතාගෙන් සැදි ප්‍රබුද්ධ විනිසුරු මඩුල්ලකින් “රූ නද” රාත්‍රිය වර්ණවත් වීමට නියමිතය. සිංහල දෙමළ මුස්ලිම් සහයෝගීතාව ඔප් නංවමින් අන්තර් ජාතික සංවර්ධන සංවිධානයේ දායකත්වයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක HETC ව්‍යාපෘතියෙහි අනුග්‍රහයෙන් දියත් වු "රූ නද" නර්තන තරඟාවලිය නර්තනයට ලැදි විද්‍යාර්ථින් ලද මහඟු අවස්ථාවකි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න මහතා, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශ ලේකම් වසන්ත ඒකනායක මහතා, ප්‍රවීණ නර්තනාචාර්ය රවි බන්ධු විද්‍යාපති මහතා ඇතුළු ගෞරවණීය ආරාධිතයන් රැසකගේ ආලෝකමත් වන "රූ නද'' නර්තන තරඟාවලියෙහි අවසන් වටය වර්ණවත් රාත්‍රියක් වනු නොඅනුමානය.  

HETC ව්‍යාපෘති නියෝජ්‍ය සම්බන්ධීකාරක ආචාර්ය චාමලී නාහල්ලගේ මහත්මියගේ පුර්ණ අධීක්ෂණ‍ය යටතේ කලා පර්ෂදය හා සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ක්‍රියාවට නැංවු “රූ නද” තරඟාවලියෙහි කූඨප්‍රාප්තිය සනිටුහන්වන් 30 වන බුද දින (හෙට ) පස්වරු 5.00 කණිසමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවට සුභාවිත නිර්මාණශීලී නර්තන රාත්‍රියක සුවපහස විඳින්නට ඔබ සැමට ගෞරවයෙන් ආරධනා කරයි. 

මතු දිනෙක ශ්‍රී ලාංකීය නර්තන කලාව විශ්ව නර්තන කරළියෙහි ‍යළි ‍යළිත් බබළවන්නට හෙට දින “රූ නද” කරළියෙහි රඟ දෙන ඔබ සැමට ජයග්‍රාහී රාත්‍රියක් ප්‍රාර්ථනා කරන්නෙමු.

මුදිත සුදාරක
ව්‍යවහරික විද්‍යා පීඨය
දෙවන වසර



Categories: Share

Leave a Reply