Background

ඉවාන් පවුලූෂා.....

ඔක්තෝබරය සිසිල්ය.වියලි හිමකුණාටුවත් රැගෙන පියාඹන හිම වලාකුළු ඇඳිරි අළු පැහැයක් අරගෙනය. සීතලෙන් පීඩා විඳින්නේ මෑත බැද්දෙහි අපිළිවෙලට වැවුණු චෙරි, මලීන, චියි, සස්නාපඳුරු පමණක් නොවේ. යෝධ පොප්ලර් ගස්වලත්, ඕක්ගස්වලත් කොළ සිසිරයේ අකාරුණික හස්තයෙන් නිරුවත් වී ඇත. කොළ හැලුණු ග්රාබ් ගස් අහස දෙස බලා හිඳින්නේ මහල්ලන් වගේය.පෙනෙන තෙක් මානය වසාගත්-වෙනදාට උණුසුම් රතු පැහැයෙන් බැබලෙන-තණබිමත්, ඒවටා කළු පැහැයෙන් නැගී සිටින යෝදයන් බඳු කඳුවලල්ලත් හිමෙන් වැසීලාය. බැස යන මලානික ඉරේ අන්තිම රතුපාට කිරණ වැදී හිම ලා රත් පාටක් අරගෙනය. අයිලය මැදින් වැටී ඇති පටු මාවත පාලුවට ගොසිනි. ඉඳහිට කෙත්මනයක් කරින් ගත් ගොවියකු දෙන්නෙකු හැරෙන්නට පටුමගෙහි යන වෙනත් මගියෙක් නැති තරම්ය. යන්තමට හෝ යමක් කමක් තිබෙන හැම ගැමියෙක්ම රත් වූ සමොවාරවටා හිඳ සිය රාත්‍රි භෝජනය ගනියි. මහා දේවල් නොවේ. කඩල සූපයක්, තම්බන ලද මෑ ඇට ටිකක්, ගල් මෙන් දැඩි කළුපාට රයි පාන් කැබැල්ලක්, ගෝවා අච්චාරුවක්............ කළු පාට සමොවාරය වටා රත් වී ගිනියම් වූ අඟුරු කැට දිලිසෙයි. අයිලයම සන්සුන් වෙලායරාත්‍රිය ලඟා වෙයි.

අයිලයේ රඟහල අසල ගාල ගෝට්ටිය ඇරඹෙන්නේ මේ වෙලාවටය. රගහළේ අස්ගාල අසල එකකල බලයකි. රඟහලට එන රදලයන්ගේ අසුන් ගාල්කරන්නේ එහිය. මහලු අස්ගොව්වෙකු වූ සෙර්ගුයෙන් කොව් සහ ඔහුගේ තරුණ සහායකයා රූබින් නොසන්සුන් වූ අශ්වයන් සන්සුන් කරන්නට වෙහෙසෙති. උන්ගේ ගෙල අතගාමින්, කොල්ලු ඇට පිරවූ මලු අශ්වයින්ගේ මුවට ලංකරති. ශීත සුළං   මැද ගමන් කල නිසාත්, අස්ගාල තුල ඇති අඩු පහසුකම් නිසාත් අශ්වයන් මෙල්ල කරගැනීම පහසු නැත. අන්තිමේ දී අප්‍රතිහත උත්සාහය ජය ගනියි. අශ්වයෝ සන්සුන් වෙති. සෙර්ගුයෙන් කොව් සහ රූබින් විවේකයක් ලබන්නේ එවිටය. අශ්වයෙකුගේ නාස්පුඬුවලට තම දෑත ලංකරන සෙර්ගුයෙන් කොව් කොහෙත්ම පාවිච්චි කල නොහැකි-නමුත් තමා දිනපතාම භාවිතකරන- ගලෝෂි පාවහන් යුගලයේ තැවරුණු හිම කැට ගසාදමයි. තරුණ රූබින් දුම් වැටියක් දල්වා ගනියි.

අස්ගාලේ පලහිලව්ව නිමවෙද්දී රඟහල පදමට කලබලකාරීවීම ඇරඹිලාය. බැදුණු මස්, මාළු, අලවල සුවඳට මුසුවුණු වොඩ්කා, දුම්කොළ දුම් ආදියෙන් බරවුණු රඟහලේ වායුගෝලය නාසය තුලින් ඇතුළු වී මොලය කිතිකවයි. වාදක කණ්ඩායමෙන් නික්මෙන ඇකෝඩියන් හඩත්, කොන්සර්ටිනා සහ බැලලයිකාවල හඬත් දෙසවන තුලින් හදවතට රිංගයි. රඟහල පුරාම රදල පිරිස්ය. හැමදාම මුල් තැනගන්නේ පළාතේ ලොකුම ධනවතා ඉවාන් බෙස්සොනොව්ද්රස්දොව්ස්කිය.ඔහුගේ වත්කම් කොපමණදැයි ඔහුත් නොදන්නේය. රයිවතු, බාර්ලි යායවල් මෙන්ම තිරිගුයායවල් ද ඔහුගේ නමට අයත්ය. බෙස්සොනොව් සතු ප්‍රවේණි දාසයන් ගණන ද අතිමහත්ය. කතාවට කියන්නේ මුළු සෝවියට් සමූහාණ්ඩුවෙන් අටෙන් එකක තරමේ ප්‍රවේණි දාසයන් පිරිසක් ඔහු සතුබවය. බෙස්සොනොව් මහලුය. එහෙත් කඩවසම්ය .උඩුරැවුල ගනට වවලාය. නිර්දය ලෙස මිනිසුන් තලා පෙලන මුහුණක් ඔහුට ලබාදී මේ කටයුත්ත උඩුරැවුල විසින් කුළුගන්වා ඇත. ඔහුගේ ලේකම් තැන වූ කියුට්සම්ද, වන ආරක්ෂක නිලධාරියා වන තරබාරුකුස්නෙට්සොව්ද, රතුමුහුණක් ඇති උසාවි කොමසාරිස් දිමිත්රියෙව් ද ඒ අතර වෙති. බලන බලන තැන රදලයෝ!!!

මේ තේජසින් සපිරි රදල සමූහය මැද තමා කුමකට ඉන්නවාදැයි රඟහල මධ්‍යයේ ඇති රැඟුම් මණ්ඩපයෙහි රඟන අතරතුරේ ප්රෝස්යාට සිතිනි. ඇය මහලු අස්ගොව්වාවන සෙර්ගුයෙන් කොව්ගේ දියණියය. ප්රෝස්යා සිහින්ය. හුරුබුහුටිය. ඇගේ හිස කෙස් දීප්තිමත් දුඹුරු පාටය.දෑස් නිල් කළු පැහැයෙන් ප්‍රභාමත් වෙලාය. මුළු අයිලයේ ම සිටින සුන්දරම යුවතිය ඇයයි.
"තාත්ත කුලප්පු වෙච්චි අස්සයො මේච්චල් කරන්න හපනා..දුව ඒ අස්සයින් ගේ හාම්පුතාලව සතුටු කරන්න හපනි....." රඟහලේ හිමිකරු වසීලීපෙත්රෝවිච් දුම්කොළ කහටින් කහගැහුණු සිය දෑත් පිරිමදිමින් නිතර කියන්නේය. ප්රෝස්යා  "හපනියක"  වූයේ වසීලීගේ අකාරුණික ආරාධනාව ඉවත දැමුව හොත් තම පියාටත්, පවුලටත් ඔහුගෙන් වියහැකි අඩන්තේට්ටම් වලින් ගැලවෙන්නට නොහැකි වන නිසාය. රඟහලේ නැටුමෙන් ඇයට රූබල් තුනහතරක් උපයාගත හැක.

අද බැලලයිකාව වයන්නේ ඉවාන් බෙස්සොනොව් ද්රස්දොව්ස්කිගේ එකම පුතා-ඉවාන් පාවෙල් ද්රස්දොව්ස්කි-  බව නැටුම අතරතුර ප්රෝස්යා දුටුවාය.ජ්‍යේෂ්ට ද්රස්දොව්ස්කි, කනිෂ්ටයාගේ-තම පුතාගේ- වැඩපිළිවෙල ගැන එතරම් පැහැදීමක් නැත. පළාතේ ලොකුම බල පුලුවන්කාරයා වූ තමාගේ පුතා අයිලයේ රඟහලේ බැලලයිකා වාදනය කරනු දකින්නට කැමති මොන පියාද? එහෙත් පවුලූෂා-පාවෙල්ට ඔහුගේ සමීපතමයන් අමතන්නේ එහෙමය-තම තත්වය පහල හෙලාගෙනද නැත. පියාට ගමවැසියෝ ගරුකරන්නේ නැත. බියවෙනවා පමණය. එහෙත් පුතාට ගම්මු සැබෑවටම ගරු කරන බව ජ්‍යේෂ්ට ද්රස්දොව්ස්කිද දනියි. කලාතුරකින් දවසක රඟහලේ බැලලයිකාව වයන්නට පවුලූෂා පෙළඹීම ගැන ඔහු විරුද්ධ නොවන්නේ එනිසාය.

සංගීත රිද්මය දැන් දැන් වේගවත් වෙයි.. ප්රෝස්යා දැන් නටන්නේම ෂූර්කා නැටුමය. පවුලූෂා තමා දෙස වරින්වර ඔහුගේ දිගටි නෙතඟින් බලන බව ප්රෝස්යාටද පෙනෙයි. පවුලූෂා උසය. ශක්තිමත් බාහුත්, පුළුල් උරහිසුත් නිසා ඔහුගේ කඩවසම්බව තවත් වැඩිවෙයි. අඳුරු තඹපාට මුහුණ හෙවන කරන්නේ තද කළුවට හුරු දුඹුරුපාට කැරලි ගැසුණු කොන්ඩයකි. දිගටි නිල් පැහැ ඇස් සිහින් වුවද දීප්තිමත්ය. පවුලූෂාගේ කරුණාවන්ත කමත්, දිදුලන සුළු බුද්ධියත් ඒ ඇස්වලින් පිටතට කාන්දුවෙයි. තාත්තා මෙන්ම පවුලූෂා ද උඩුරැවුල වවලාය. තාත්තාට දරුණු පෙනුමක් එක්කල ද එයින් පවුලූෂාට සිත් ඇදගන්නා සුලු බවක් ලැබී ඇතැයි ප්රෝස්යාට සිතෙයි. නැටුම පුරාම ඇය පතන්නේ එකම දෙයකි.

"ඉවාන් පවුලූෂා ඇයිහොරැහින් මදෙස බලන්නේ... නැටුමටඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ....!!"

උදෑසන හිරු රැසට රාත්‍රියේ අඳුරත්, තැන තැන කැටි ගැසුණු හිම කැටිතිත් දියවීයයි. ජීවිතය ද එහෙමය. ඈත රුසියාවේ කාටත් අමතක වූ මුල්ලක වෙසෙන දුප්පත් ප්රෝස්යාගේ පැතුම අඩු වැඩි වශයෙන් අපි හැමෝගෙම පැතුමට සමපාත නොවන්නේද?

(මේ දීර්ඝ අදහස පැනනැගුනෙ අප්සරාද සිල්වා ගයන ගීතයක් අහද්දියි. අමාරුවෙන් මේ ලියාපු ගොඩාක් දේවලුත් ඒ ගීතයත් එක්ක හිතේ ඇඳිච්ච රූපවල තිබුන. ටිකක් පරණ වුනත් එකෙන් කියවෙන කතාව ගොඩක් අලුත්!)


Categories: Share

1 comments: